මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO
නවතම තොරතුරු: පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05

මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2001 වර්ෂයේ සිදු කරන ලද දහහත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳ නීතීමය ප්‍රතිපාදන ඇතුළත් කරන ලදී. මෙමගින් යෝජිත කොමිෂන් සභා සංඛ්‍යාව හතකි (7) කි.  "මැතිවරණ කොමිෂන් සභාව" අලුතින්ම පිහිටුවීමට යෝජනා වූ කොමිෂන් සභාවකි.

කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යොදන ලදී. එනම්, දහහත් වන සංශෝධනය මගින් පිහිටුවීමට යෝජිත වූ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව" මඟින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභා සඳහා සාමාජිකයන්  හා සභාපතිවරුන්ගේ  නම් නිර්දේශ කළ යුතු විය. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ නිර්දේශය නොමැතිව ජනාධිපතිවරයාට කොමිෂන් සභා සඳහා කිසිදු තැනැත්තෙකු පත්කිරීමට නොහැකි වීම විශේෂත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන තැනැත්තන් ජනාධිපතිවරයා විසින් දින 14ක් තුළ පත් නොකළ හොත් එම අය කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස  පත්වූවා සේ සැලකේ.

දහහත් වන සංශෝධනය යටතේ මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමට නොහැකි විය. ඊට හේතු වූයේ ව්‍යවස්ථා සභාව මඟින් නිර්දේශ කරන ලද පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබුන ගැටලු සහගත තත්ත්වයයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවන වරට පත්කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු සහගත තත්ත්වය නිසාවෙන් ද, මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම සිදු නොවිණි.

දහහත් වන සංශෝධනය යටතේ පත්කිරීමට නියමිත වූ මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වූවකි. එහි රැස්වීමක ගණපූරණය තිදෙනෙකු විය. කෙසේ වුවද, දහඅට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට "පාර්ලිමේන්තු සභාව" නමින් සභාවක්  පිහිටුවනු ලැබිය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව තිදෙනෙකු දක්වා අඩු කරන ලදී. මෙම සංශෝධනවලට අනුව පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ නොමැතිව ජනාධිපතිවරයාට කොමිෂන් සභා සාමාජිකයන් පත්කළ හැකි විය.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභා පිහිටුවීම පිළිබඳව සිවිල් සමාජයේ මෙන්ම දේශපාලන පක්ෂ අතර පැවති බලපෑම හා ඉල්ලීම් ප්‍රභල වීම මෙන්ම, ඒ සඳහා දක්වන ලද උනන්දුව මත 2015 වර්ෂයේ දී දහනව වන සශෝධනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් විය. එම සංශෝධනය අනුව මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. එසේ වුවද, තිදෙනෙකු වශයෙන් පැවති ගණපූරණයේ අඩුවක් සිදුකර නොතිබිණි. කොමිෂන් සභාවේ  සාමාජිකයන් වශයෙන් පත්වීමට අවශ්‍ය සුදුසුකම් ව්‍යවස්ථාව මගින්ම නියම කර ඇත. ඒ අනුව වෘත්තීන්හි, පරිපාලන හා අධ්‍යාපන යන ක්ෂේත්‍රවල විශිෂ්ටතා සහිත පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හෝ ඊට ඉහළ ධූරයක් දරන ලද මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අයෙකු කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් පත්කළ යුතු අතර, ඔවුන් අතුරින් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිය යුතුය. නව විධිවිධාන යටතේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබන තැනැත්තන් පත් නොකර සිටීමට ජනාධිපතිවරයාට  අවකාශ නැත.

තවද පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීවරයෙකු, පළාත් පාලන ආයතන සභිකයකු, අධිකරණ සේවයේ නිලධරයෙකු හෝ රජයේ නිලධරයෙකු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කළ නොහැකි බව ව්‍යවස්ථාව මගින් නියම කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධූර කාලය අවුරුදු පහකි.  ධූර කාලය තුළ සාමාජික ධූරයෙන් ඉවත් කිරීමට නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ඉවත් කිරීමේ කාර්යය පරිපාටිය ඒ සඳහා අනුගමනය කළ යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව පත්කරන අවස්ථාව වන විට දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙමින් පැවති අතර, "මැතිවරණ දෙපාර්තමේන්තුව" සහ "මැතිවරණ කොමසාරිස්" යන වචන වෙනුවට "මැතිවරණ කොමිෂන් සභාව" යන වචනය ආදේශ විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 (3 (ඈ) හි සඳහන් වන නියමය අනුව 1955.10.01 සිට පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව 2015.11.17 දින සිට  අහෝසි වේ. "මැතිවරණ කොමසාරිස් ධූරය"  සතුව තිබූ  බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරෙන බව ඉන් අදහස් වේ.

මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි වීම සමගම එහි බලතල හා කාර්යයන් ද, භෞතික හා මානව සම්පත් ද, මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අලුතින් ස්ථාපිත වුවද, ඒ සඳහා කාර්ය මණ්ඩලය හෝ භෞතික සම්පත් පිළිබඳ විශේෂ ගැටලුවක් ඇති නොවුණි. 2/බප/15/1908/701/018 හා 2015.12.08 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රය‍ සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ සේවයේ නියුතුව සිටි මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලු දෙනා  ඔවුන් විසින් භුක්ති විඳින ලද හිමිකම් හා වරප්‍රසාද සහිතව මැතිවරණ කොමිෂන් සභාවට අනුයුක්ත කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන සංශෝධනය අනුව 103 (2) ව්‍යවස්ථාවෙහි නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම කොමිෂන් සභාවේ පරමාර්ථය විය යුතුය. එමෙන්ම  පවත්නා මැතිවරණ නීති අනුව අදාළ මැතිවරණ පැවැත්වීමටත්, වාර්ෂික ඡන්දහිමි නාමලේඛන සැකසීමටත් කොමිෂන් සභාවට බලය ඇති අතර, කොමිෂන් සභාවේ කටයුතු එම බලතලවලට කාර්ය කර්තව්‍ය වලට සීමා නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (1) ව්‍යවස්ථාවෙහි දක්වා ඇත. අදාළ අණපනත් අනුව මැතිවරණ පැවැත්වීමේ වගකීම පැවැරුණු මැතිවරණ දෙපාර්තමේන්තුවට වඩා විශේෂිත වගකීමක් මේ අනුව මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇත. ඊට අදාළව  දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මූලික නීතියට විශේෂ විධිවිධාන ඇතුළත් කර ඇති බැවින් කොමිෂන් සභාවේ බලය හා ශක්තිමත් බව ඉහළ නංවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමේ දී කොමිෂන් සභාවට විශේෂ බලතල ලබා දී ඇත. 104 (අ) ව්‍යවස්ථාව  යටතේ අධිකරණ බලයට යටත්ව,

1. කොමිෂන් සභාවේ තීරණ, විධිවිධාන හෝ ක්‍රියා අවසානාත්මක හා තීරණාත්මක වීම හා 

2. මැතිවරණ කොමිෂන් සභාවට විරුද්ධව සිවිල් නඩුවක් හෝ නඩු කටයුත්තක් පැවරිය නොහැකි වීම.

යන විශේෂ මුක්තීන් ලබා දී ඇත. මෙම මුක්තීන් ලබා දී ඇත්තේ 126 වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ අභියාචනා අධිකරණ බලය, 130  ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණය, මැතිවරණ පෙත්සම් ආදිය සම්බන්ධයෙන් ඇති අභියාචනා අධිකරණ බලය, 144 වගන්තිය යටතේ මන්ත්‍රීධූරයකට තෝරා ගැනීමට අදාළ පෙත්සම් විභාගයට ඇති අභියාචනා අධිකරණ බලයට යටත්වය.

තවද, මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමේ දී නීති බලාත්මක කිරීම හා සුරක්ෂිත කිරීම ද  වාර්ෂික පාලන / මැතිවරණ/ ඡන්ද විමසීම් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද හැර වෙනත් වගකීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී නැති බව විශේෂිත කාරණයකි. මේ හැර රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශේෂිත බලයක්  104 ආ (4) (අ) යටතේ  ලබා දී ඇති අතර, ඡන්ද විමසීම් කාලවලදී  රාජ්‍ය මාධ්‍ය ඇතුළු ජනමාධ්‍යයන් හැසිරවීම පිළිබඳව මාධ්‍ය උපමාන නියම කිරීමට හා  ඊට අදාළව විධිවිධාන පැනවීමට ඉඩ සලසා ඇත.  104 ඇ යටතේ පොලිස් බලතල භාවිතයට ද, 104 ඈ යටතේ සන්නද්ධ හමුදා යෙදවීමටද,  කොමිෂන් සභාව වෙත විශේෂ බලයක් දහහත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලබා දී  තිබේ.

මේ අනුව බලන විට මැතිවරණ කොමිෂන් සභාවෙහි බලතල ඉහළ දැමීමට ගෙන ඇති පියවර රාශියකි. එනම්,

1. කොමිෂන් සභාව පත් කිරීමට අදාළ විශේෂ විධිවිධාන;

2. මැතිවරණ කටයුතු පැවරෙන නිලධාරීන්ට වෙනත් රජයේ භෞතික හා මානව සම්පත් ලබා ගැනීමට හැකි ආකාරයේ ප්‍රතිපාදන;

3. කොමිෂන් සභාවේ තීරණයන්හි ඇති අවසානාත්මකභාවය හා නඩු කටයුතුවලදී ලැබෙන විශේෂ මුක්තිය;

4. රාජ්‍ය දේපල පක්ෂ/ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම තහනම් කිරීමට ඇති බලය;

5. මැතිවරණ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සඳහා මාධ්‍ය උපමාන, මාර්ගෝපදේශ පැනවීමේ බලතල;

6. පාර්ලිමේන්තුව විසුරුවා ඇති විටෙක මැතිවරණ වලට අයුතු බලපෑම් වළකාලීමට ඇති නීති;

7. සාධාරණ ඡන්ද විමසීමකට උචිත වාතාවරණය නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් සේ සැලකීම.

ඉහත කරුණු අනුව එම විශේෂ බලතල හා නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම සලසා තිබීම තුළින් මැතිවරණ කොමිෂන් සභාවට සිය කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීමට හා මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමට හා කළමනාකරණයට අවශ්‍ය ශක්තිය හා බලය ලබා දී ඇති බව තහවුරු වේ. කොමිෂන් සභාව එම බලතල ඉදිරියේ ක්‍රියාත්මක කිරිම අනුව එහි ප්‍රායෝගික තත්ත්වය හා ප්‍රතිඵල ගණනය කිරීම කළ යුතුවේ.

මැතිවරණ කොමිෂන් සභාවට 104 ඉ ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කිරීමට බලය ලබා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව මත මෙම පත්කිරීම සිදු විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියමයන් හා උපදෙස් අනුව ක්‍රියාකළ යුතු තැනැත්තෙකි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට කොමිෂන් සභාවේ  විධිවිධාන හා පාලනයන්ට යටත්ව කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වේ. කොමසාරිස් ජනරාල්වරයා ධූර කාලය තුළ ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සලසා තිබීම විශේෂත්වයකි. මැතිවරණ දෙපාර්තමේන්තුව පැවැති අවස්ථාවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ ධූර කාලය වයස අවුරුදු 60 දක්වා විය. මෙම ධූර කාලය අවශ්‍යතාවය අනුව වසරකින් දීර්ඝ කිරීමට අවකාශ තිබුණි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීමට නියමිත මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ වයස අවුරුදු 65 දක්වා වන අතර එම වයස් සීමාවට පෙර ඔහු ඉවත්කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවය. එනම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඔහු මියගිය හොත් හෝ ඉල්ලා අස්වුව හොත් මිස වයස 65 සම්පූර්ණ වනතුරු කායික හෝ මානසික දුර්වලතා හේතු කොටගෙන ඉවත් කළහොත් හෝ විෂම පැවැත්ම හෝ අබලතාව මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සංදේශයක් මගින් ඔහු ඉවත්කළ හොත් මිස ධූරය හිස් නොවේ.

මෙම තත්ත්වය නිසා මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ධූරකාලය වයස 60 දක්වා අඩුකරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දන්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ද කොමසාරිස් ජනරාල්වරයාගේ ධූරකාලය අවුරුදු 60 දක්වා අඩුකිරීම අනුමත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇත.

තවද වර්තමාන කොමිෂන් සභාව තවත් එවැනිම ගැටලුවකට මුහුණ පා ඇත. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (1) ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක ගණපූරණය තිදෙනෙක් වශයෙන් නියම කර ඇත. සාමාජික සංඛ්‍යාවද තිදෙනෙක් නිසා සම්පූර්ණ කොමිෂන් සභාවම තීරණ ගැනීම සඳහා රැස්විය යුතුය. දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව පස් දෙනෙකු විය. එහිදී ගණපූරණය තිදෙනෙකු විය. එහෙත් සාමාජික සංඛ්‍යාව තුන දක්වා අඩුකළ අවස්ථාවේ ඊට අනුකූලව ගණපූරණය අඩුවිය යුතුව තිබුණත් එසේ සිදුවී නැත.

මෙම කාරණය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කිරීමෙන් අනතුරුව ගණපූරණය දෙදෙනෙකු දක්වා අඩුකිරීමට නිර්දේශ කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් ද සංශෝධන සඳහා අනුමැතිය ලබා දී ඇත. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ සංශෝධන සිදුකරන තෙක් මෙම ගැටලු නිරාකරණය නොවනු ඇත.

ඉහත දක්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා (සභාපති), ජනාධිපති නීතීඥ එන්.ජේ. නලින් අබේසේකර මහතා (සාමාජික), මහාචාර්ය එස්. රත්නජීවන් එච්. හූල්  (සාමාජික) යන සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කොමිෂන් සභාව පත්කරන ලදී. 2015.11.13 වන දින ජනාධිපතිවරයා විසින් පත්කරන ලද එකී සාමාජිකයන් 2015.11.17 වන දින  රාජකාරි භාර ගනිමින්  මැතිවරණ කොමිෂන් සභාව ප්‍රථම රැස්වීම පවත්වන ලදී. මේ අනුව 2015.11.17 වන දින මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වීම ආරම්භ වේ.